අජිත් පැරකුම් ජයසිංහ

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර හේතුවෙන් දෙදරා ගියේ මිනිස් හදවත් පමණක් නොවේ. ශ‍්‍රී ලංකාවේ දේශපාලන ක‍්‍රමය ද ගැඹුරින් ම ඉරිතලා ගියේ ය. පාලනය තුළ කලක් තිස්සේ සෙමින් ගොඩනැගෙමින් තිබුණු මෘදු අරාජිකත්වය පසුගිය වසරේ පෙබරවාරි මස පළාත් පාලන මැතිවරණයෙන් පසු ගැඹුරට ම විහිදී ගොස්, ඔක්තෝබර් 26 කුමන්ත‍්‍රණයෙන් පසු දරුණු අර්බුදයක් බවට පත් වී තිබිණි. මෙම බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් පසු එය පූර්ණ අරාජිකත්වයකට රට ඇද දැමූ බව පැහැදිලිව ප‍්‍රදර්ශනය විය.

(ලිපිය දැන්වීමෙන් පසු දිගටම කියවිය හැකි ය.)
Media and Social Entrepreneur

ජාතික තව්හිද් ජමාත් සංවිධානය ප‍්‍රහාර සැලසුම් කරමින් සිටින බව ප‍්‍රහාරකයන්ගේ නම් සහිතව වාර්තා කිරීමට බුද්ධි අංශ සමත් විය. එහෙත්, ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආරක්ෂාව භාර ඇමතිවරු, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, පොලිස්පති ඇතුළු වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් තත්වය පිළිබඳ විධිමත් විශ්ලේෂණයක් කරනු තබා ඒ පිළිබඳ විධිමත් සාකච්ඡාවක් හෝ පවත්වා නැත. ආරක්ෂක මණ්ඩලය විධිමත් අන්දමින් රැස් වී නැත. එයට සහභාගි විය යුතු අගමැති, පොලිස්පති වැනි අය එයින් ඉවත් කර තිබේ. තිලංග සුමතිපාල වැනි කිසිදු අදාළත්වයක් නැති විපක්ෂ මන්ත‍්‍රීවරු පවා සහභාගි වන විකට වැඩසටහනක් බවට එය පත් වී තිබේ.

මේ වන විට ජනාධිපති කාර්ය මණ්ඩලය නාමල් කුමාර වැනි වචනයේ පරිසමාප්ත අරුතින් තකතිරුවන්ගේ සිට ආන්තික දෘෂ්ටිවාදීන්, ෆේස්බුක් ආණ්ඩුකාරයන් දක්වා ජනාධිපති වැය ශීර්ෂයේ මහජන මුදල් විවිධ විකාර වැඩසටහන් වෙනුවෙන් වියදම් කරන, ජනාධිපති ළඟ සේවය කිරීම දිළිඳුකම පිටුදැකීමේ මාර්ගය බවට පත් කරගත්, වෙනත් රස්සාවක් පවා සොයාගත නොහැකි නිර්ප‍්‍රභූ කොටස්වලින් පිරී ඉතිරී ගොස් තිබේ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සිය උපදේශකයින් ලෙස තෝරාගෙන තිබෙන්නේ සිය සීමාසහිතකම් තුළ ආධිපත්‍යය පතුරුවාගත හැකි දුර්වල, යටහත් සේවක පිරිසකි. ඔවුන්ට ජනාධිපතිවරයාගේ සීමා පුළුල් කිරීම සඳහා ඵලදායී දායකත්වයක් දිය නොහැකි බව මෙම සිද්ධිය සමග ඉතා පැහැදිලිව පෙන්නුම් කෙරේ.

ජනාධිපතිවරයා මෙම සිද්ධියේදී කටයුතු කළ ආකාරය ඉතා වගකීම් විරහිත ය. අඩු තරමේ සිද්ධිය සිදු වූ සැණින් ආපසු සියරට පැමිණ ජනතාවගේ මානසික ශක්තිය නැංවීමට හෝ ඔහු කටයුතු නොකළේ ය. ඔහු විදේශගත වුණේ වැඩබලන ආරක්ෂක ඇමතිවරයකු පත් නොකර ය. එපමණක් නොව, ඔහු රටේ නොමැති පසුබිම තුළ අගමැතිවරයාට ආරක්ෂක මණ්ඩලය කැඳවා තත්වය සාකච්ඡුා කිරීමට හෝ ඔහු ඉඩ නොදුන්නේ ය. ස්කයිප් කොන්ෆරන්සිං වැනි සරල තාක්ෂණයක් පාවිච්චි කර දුරස්ථ රැස්වීමක් පැවැත්වීම සඳහා පහසුකම් සලස්වන්නට හෝ ජනාධිපති කාර්ය මණ්ඩලයට හැකියාවක් නැද්ද? බෝම්බ ප‍්‍රහාර සිදු වී සෑහෙන කාලයකට පසු ජාතිය ඇමතූ ඔහු එයින් ද කළේ වගකීම භාර නොගෙන, වෙනත් අයට චෝදනා එල්ල කරමින් පම්පෝරි ගැසීමයි.

තව්හිද් ජමාත් බෝම්බ සමග සුන්නද්දූලි වී ගිය තවත් දෙයක් වන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ රාජ්‍ය තාන්ත‍්‍රිකභාවය පිළිබඳ විශ්වාසයයි. තමන් ආරක්ෂක මණ්ඩලයට නොකැඳවීම පිළිබඳ ඔහු ගතු කියන්නේ දැන් ය. එසේම, ඔහුට ආරක්ෂක ප‍්‍රධානීන් පාලනය කිරීමේ හැකියාවක් නැති බව ඔහු ම පෙන්නුම් කළේ ය. ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඔහුට පෞද්ගලිකව දුරකථනයෙන් ඇමතීම හෝ ඔහු විදෙස් මාධ්‍යවලට චතුර ඉංග‍්‍රීසියෙන් පිළිතුරු දීම හෝ සම්බන්ධයෙන් උද්දාමයට පත් වීම මෝඩ චූන් එකකි. ඒවා වනාහි විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ දක්ෂ නිලධාරියකු සතුව තිබිය යුතු ලක්ෂණයි. රට තුළ පාලනයක් හරිහැටි කරගන්නට බැරි අගමැතිවරයකුගෙන් මේ මොහොතේ රටට වැඩක් නැත.

පොලිස්පති හෝ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඉවත් කර, සියලූ පව් ඔවුන්ගේ පිටින් සෝදා හරින්නට බැරි ය. නිර්මාණය වූ තත්වයේ වගකීම භාරගනිමින් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ධුරවලින් ඉල්ලා අස්වීම අත්‍යවශ්‍ය ය. එයට පැහැදිලි හේතු තිබේ. මෙම බෝම්බ ප‍්‍රහාර මාලාව හේතුවෙන් පාලනය පිළිබඳ මහජන විශ්වාසය මුළුමනින් ම බිඳ වැටී හමාර ය. සිද්ධියෙන් පසුව හෝ එකිනෙකාට චෝදනා කරගැනීම නවත්වා හරිහමන් වැඩපිළිවෙලක් ඇති කිරීමට ජනාධිපති, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය උත්සුක වූයේ නැත. මේ වන විට ඔවුන් මූලික අවධානය යොමු කර තිබෙන්නේ ආත්මාරක්ෂාවට පමණි. වැඩකරන සතිය අවසානයට එළඹෙමින් තිබියදී පවා රට නැවත යථා තත්වයට පත් කිරීමට රජය අසමත් වී තිබේ. රාජ්‍ය සේවය අක‍්‍රිය වී ඇත. ආර්ථිකය ද අඩපණ වී තිබේ.

මෙම ප‍්‍රහාරයේ කම්පනය දරුණුවට ම දැනෙනු ඇත්තේ ශ‍්‍රී ලංකාවේ අතිශය භංගුර තත්වයක තිබෙන ආර්ථිකයටයි. මේ වන විටත්, නැඟී එමින් තිබුණ සංචාරක කර්මාන්තය බිඳ වැටී ඇත. එහිදී අප මතක තබා ගත යුතු කරුණක් ද තිබේ. බෝම්බ ප‍්‍රහාරයෙන් පසු ෂැංග‍්‍රිලා හෝටලයේ නිලධාරියකු මාධ්‍යවලට පැවසූ පරිදි 40%ක පමණ ඔකියුපන්සි අනුපාතිකයක් හෙවත් කාමර වෙන්කරගැනීමක් තිබී ඇත. බොහෝ සංචාරක කලාපවල තත්වය එයයි. මේ ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය සංචාරක වාරය මාර්තු මාසයේ අවසන් වීමෙන් අනතුරුව බව සිහිපත් කළ යුතු ය. සංචාරක කර්මාන්තය පැත්තෙන් අප එවැනි සාර්ථකත්වයක් අත්පත් කරගනිමින් සිටි බව අමතක නොකළ යුතු ය. එසේම, ආයෝජක විශ්වාසය නැවත ගොඩනගාගැනීම සඳහා රජය උත්සාහ කරමින් සිටියේ ය. මේ සියල්ල මෙම බෝම්බ ප‍්‍රහාරයෙන් සුණු විසුණු විය.

මහජන විශ්වාසය, ජාත්‍යන්තර විශ්වාසය සහ පාලනය නැංවිය හැකි ගැඹුරු ප‍්‍රතිසංස්කරණයක් ශ‍්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍ය ය. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, සමස්ත කැබිනට් මණ්ඩලයත් ඉල්ලා අස් විය යුතු ය. රට අරාජික වීම සම්බන්ධයෙන් ඔවුන් වගකීම භාරගත යුතු ය.

මෙහිදී විපක්ෂය ගැන ද සඳහන් කළ යුතු ය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා විපක්ෂ බලවේග විසින් ජනාධිපති අපේක්ෂකවරයා ලෙස ප‍්‍රවර්ධනය කරමින් සිටින ගෝඨාභය රාජපක්ෂ පවා මේ මොහොතේ ප‍්‍රදර්ශනය කළේ සිය නොහැකියාවයි. විපක්ෂ නායකවරයා සහ ඔහුගේ සමීප නායකයන් ආණ්ඩුවට ඇඟිල්ල දිගුකරමින් දේශපාලන වාසි සඳහා අවස්ථාව පාවිච්චි කරන්නට උත්සාහ කළා මිස ඔවුන් ද වගකීමකින් කටයුතු කළේ නැත. මහජනතාව බලය සිය දෙපතුල් ළඟින් ගෙනැවිත් තබන තුරු බලා සිටින ගෝඨාභය රාජපක්ෂ ආගිය අතක් නැත. මේ කිසිවකුට විකල්ප අදහසක් තිබුණේ නැත. තිබුණේ තමන්ගේ කාලයේ කළ දේ ගැන පම්පෝරි පමණි. ඔවුන්ට බලය අහිමි වූයේ ද ඒ කළ දේ නිසා ම ය. එසේම, මහින්ද රාජපක්ෂ හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන එක්ව ඔක්තෝබර් 26දා දියත් කරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණය විසින් විශේෂයෙන් ම ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි හානියක් සිදු කරන ලදී. රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ සම්බන්ධයෙන් මේ වන විට සිරගතව සිටිය යුතු මේ දෙපළ යහතින් ඉන්නේ අන් කිසිවක් නිසා නොව අගමැති රනිල් වික‍්‍රමසිංහ සමග ඇති කරගෙන තිබෙන කුමන්ත‍්‍රණකාරී සම්මුතිය නිසා ය. ශ‍්‍රී ලංකාව මෙම අර්බුදයෙන් ගොඩට ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය තාන්ත‍්‍රිකත්වය හා සියලූ ජන කොටස් අතර පැතිරුණු විශ්වාසයක් රාජපක්ෂවරුන්ට මේ මොහොතේ නැති බව ඔවුන් ද තේරුම් ගත යුතු ය. එහෙයින් මෙම දුෂ්කර අවස්ථාවේ බලය වෙනුවෙන් පොරකෑමට යාම වෙනුවට යම් සම්මුතියකට අනුව ක‍්‍රියාකිරීම ඔවුන්ටත්, රටටත් යහපතකි.

මෙම තත්වය තුළ ශ‍්‍රී ලංකාවට නව පාලනයක් අවශ්‍ය ය. ඒ සඳහා දැනට සිටින දේශපාලකයන් අතරින් යෝග්‍ය පුද්ගලයන් පරිස්සමෙන් තෝරාගන්නට ජනතාව වග බලා ගත යුතු ය. එය දේශපාලන භේදයන්ට ඉහළින් සිටිමින් ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා කළ හැකි නම් වඩා හොඳ ය. එසේ නොමැති නම්, දේශපාලනිකව හෝ ඒ වෙනුවෙන් ක‍්‍රියාමාලාවක් අවශ්‍ය ය. රනිල් වික‍්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වැනි අයට යම් සුවිශේෂ හැකියාවන් තිබෙන බව ඇත්තකි. ඔවුන්ට ආණ්ඩුවේ හෝ විපක්ෂයේ සිටිමින් මීට වඩා වගකීම් සහගත ලෙස ක‍්‍රියා කිරීමට හැකි පරිණත නායකත්වයක් රටට අවශ්‍ය ය. වහෙන් ඔරෝ නැතුව කෙළින්, සංයුක්ත අදහස් ඉදිරිපත් කළ යුතු නිසා මම මෙසේ කියමි. කරු ජයසූරිය ජනාධිපති ධුරයට පත් වන, සරත් ෆොන්සේකා අගමැති වන ශ‍්‍රී ලංකාවක් යනු යම් බලාපොරොත්තු සහගත තත්වයක් ලෙස යෝජනා කළ හැකි ය. (සංවාදයට විවෘතයි)

Sinhala Tamil English Translations and Content Writing

4 thoughts on “අලූත් නායකත්වයක් සොයාගැනීමේ අභියෝගය

  1. This is sole idea of mine . At the moment Mr. Sarath Fonseka ‘ s popularity roketed after when he encountered at the parliament in his last sittings .

  2. That’s good combination , if their egos permitted combination of Karu/Champika/Fonseka also will be fruitful to the country.

  3. පැරා, මගේ අදහසට කෙටි ඉඩක් දෙන්න.

    1. තවත් හැංගි හොරා කතා වැඩක් නැහැ. ලංකාව පට්ට අසමත් රාජ්‍යයක්. මහජනයාත්(මමත් ඇතුළුව) එකයි. පාලකයෝත් එකයි. යකාගේ හැටියටනේ විමානේ design වෙන්නේ.
    ඒක නිසා කෙලින්ම කතාවට බහිමු.
    මෛත්‍රිපාල, මෛන්ද, ගෝටා, රනිල්, බැසිල්, අනුර, සජිත්,…..ඇතුලු දැන් ඔය 2020 ජනාධිපතිකමට ඉල්ලන්න බලාගෙන ඉන්න අයට කියන්නේ.
    “ඇත්තටම ලැජ්ජා නැද්ද ආයේ පාලන බලය ඉල්ලන්න ඔයගොල්ලන්ට? මොනවාවත් ඔයගොල්ලන්ට තවත් කරන්න බැරි බව නොවෙයිද මේ පෙන්නමින් ඉන්නෙ?..කෙටියෙන් කියන්නේ පවු නොදී පැත්තකට වෙලා ඉන්න මහත්වරුනි මේ තමයි ඔයාලට කියන්න පුලුවන් උපරිම හොඳ විදිය”

    2. කරු ජයසූරිය, සරත් ෆොන්සේකා , නාගානන්ද කොඩිතුවක්කු, වික්‍රමබාහු කරුණාරත්න, සුමන්දිරන් (දැනට ඔලුවට එන්නේ එපමණයි, තව ඉන්නවා ) ආදි කුලකයේ යම් රාජතාන්ත්‍රික ස්වරූපයක් තියෙන මේ අයව විතරක්ම දේශපාලනය තුල අපි promote කරමු. අනිත් චරිත pure හාල් කෑලි. බත් උයන්න ගන්නත් බැහැ. කැඳ හදන්න ගන්නත් බැහැ.

    3. Geo political movement එක ගැන standard දැනුමක් නැත්නම් එහෙම එකෙක්ව පාර්ලිමේන්තු නොවෙයි ප්‍රාදේශීය ගම් සභාවකටවත් පත් නොකරන්න අපි වග බලා ගමු. මෝඩයෝ ටික පත් කරගෙන අපිට වුන දේ දැක්කානේ! උන් වුනත් ප්‍රබන්ධය තුල ජීවත් වෙන්නේ …පාර්ලිමේන්තුව ඇතුලේ.
    Clement Peris
    Calgary

Leave comment

Your email address will not be published. Required fields are marked with *.