නන්ද වන්නිනායක

මම මේ ගිය සති අන්තයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ අසීරු, එහෙත් අති විශිෂ්ට ටෙස්ට් ජයග්‍රහණය අවතක්සේරු කරනවා නෙවෙයි. ඒත් මෙය හුදෙක් අහම්බයක් පමණයි. ඕනෑම දුර්වල කණ්ඩායමකට මෙවැනි අහඹු ජයග්‍රහණ හිමිවෙන බව ඔබ ක්‍රිකට් ඉතිහාසය දෙස බැලුවොත් තහවුරු කරගනීවි. කුසල් ඉතාමත්ම දක්ෂ, එහෙත් අපරිණත ක්‍රීඩකයෙක්. හරියටම කිව්වොත් ඔප නොදැමූ මැණිකක්. ඔහුට අර්ජුන රණතුංග යටතේ සනත් ජයසූරියට ලබාදුන් නිදහස ලැබිය යුතුයි. එහෙම නැත්තං හයියෙන් ගහන්න කියා උපදෙස් දී, පසුව තරග කිහිපයක ලකුණු අතරට ඒමට නොහැකිවූ නිසාවෙන්ම පරණ ඇඳුමක් වීසිකරන්නා සේ කණ්ඩායමෙන් ඉවතට දැමූ එක්දින ක්‍රිකට් පිතිකරන රටාව විප්ලවීය වෙනසකට භාජනය කළ විශිෂ්ට පිතිකරුවා මෙන්ම ශ්‍රී ලංකාව මෙතෙක් බිහිකළ අතිවිශිෂ්ට කඩුලු රකින්නකු වූ රොමේෂ් කළුවිතාරණට අත්වූ ඉරණමම කුසල්ටත් වෙන්න පුළුවන්.

කුසල්ගේ පුද්ගලික දක්ෂතාවය නිසාම ලැබූ මේ කණ්ඩායම් ජයග්‍රහණය පුහුණුකරු චන්දික හතුරුසිංහට පිරිනමන කතාව විහිළුවක්. කුසල් (සහ සුරංග ලක්මාල්) මෙය ඔවුන්ගේ නිහතමානීකම නිසාම ඉතා සත්භාවයෙන් කළ ප්‍රකාශයක් වෙන්න ඇති. හතුරුසිංහ ඔය කියන තරම් කෙරුම්කාරයෙක් නෙවෙයි. බංග්ලාදේශ් කණ්ඩායම පරිණත වේගෙන පැමිණෙමින් සිටි කාලයේදී චන්දිකගේ වාසනාව නිසාම පුහුණුකාර තනතුර ලැබුණා. (අර්ජුන නිවැරදිව කිවූ ආකාරයට ඩැනියෙල් වට්මෝර්ටත් වුණේ මේ දෙයමයි. ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කළායින් පසුව ඔහුට කොතෙකුත් ජාතික කණ්ඩායම් පුහුණුකාර තනතුරු ලැබුණත් ඒ කිසිම විටක විශිෂ්ට දක්ෂතාවයක් පෙන්නන්න ඔහුට නොහැකි වුණා.) චන්දිකගෙ මේ සැබෑ තත්වය විග්‍රහ කරමින්, ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර ධුරය ලබාගැනීමටත් පෙර මම ලිපියක් ලියා තියෙනවා. කැමතිනම් කියවන්න. එම ලිපිය මෙතැනින් >>>

කොහොම වුණත් චන්දිකට අඩුම තරමින් ක්‍රීඩකයන්ගේ කැමැත්තක් තියෙනවා කියන එක අහන එකනම් සතුටක්. හැබැයි ඒ ඔහුගේ ප්‍රියතමයන් (favorites) පමණක් ඉහළින් තැබීමේ උත්සාහයක් නොමැත්තේ නම් පමණයි. චන්දිකගේ නොහැකියාව මෙන්ම ක්‍රිකට් කණ්ඩායමේ අසමත්කම් හැම දේකටම තිලංග සුමතිපාලට පමණක් දොස්කීම වැරදියි. ලංකාවේ ක්‍රිකට් වැටුණේ තිලංගගේ වැඩ නිසා බව ඇත්ත වුණත්, ඊළඟ දවසේ තරගයක් තිබියදීත් මහ රෑ වෙනකල් ක්‍රීඩකයන්ට පාටිවලට ගිහින් මත්පැන් බොන්නවත්, ගෑනු දෙදෙනා බැගින් කාමරවලට ගෙන්නගන්නවත් තිලංග ක්‍රීඩකයන්ට බලකලා වෙන්න බෑනෙ. මෙවා කණ්ඩායම් කළමනාකරු සහ නායකයගෙන් පිටතට යා නොදී විසඳාගත යුතු ප්‍රශ්න. ක්‍රීඩකයන් තමන්ගේ ජාතික වගකීම තේරුම් ගන්නේ නැත්තං හොඳම දේ වෙන රැකියාවක් කරගෙන අපිට පව් නොදී ඉන්න එකයි.

ඉම්රාන් ඛාන්, කපිල් දේව් සහ (කොතරම් අඩුපාඩු තිබුණත්) අර්ජුන රණතුංග වැනි දැඩි ගතිගුණ තියෙන නායකයන් යටතේ තමයි අප වැනි රටවල ක්‍රිකට් ක්‍රීඩාව නොහිතන මට්ටම්වලට දියුණු වුණේ. මොනතරම් පුද්ගලික දක්ෂතා තිබුණත්, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර “චොකා බුරුස්” නායකයෝ. මම කියන්නේ නැහැ සියලුම නායකයන් අර්ජුන වගේ දැඩි වියයුතුයි කියා. සනත් ජයසූරිය දැඩි ගතිගුණ තිබූ නායකයෙක් නොවුණත් ඔහු කළ යුතු දේ නායකයෙක් වශයෙනුත්, ක්‍රීඩකයකු වශයෙනුත් හරියට කළා. කණ්ඩායම එකම ඒකකයක් ලෙස තබාගත්තා මෙන්ම මෙතෙක් බිහිවූ විශිෂ්ටම ශ්‍රී ලාංකික ක්‍රිකට් නායකයා වුණා. ඒත් අපි දන්නා කාලයේදී අර්ජුන සහ සනත් හැරුණකොට වැඩකට ඇති නායකයන් සිටියාද යන්න ප්‍රශ්නයක්. මහේලලා, කුමාර්ලා යටතේ හොඳ ක්‍රීඩකයන් හෝ නායකයන් බිහිනොවී දිනේෂ් චන්දිමාල් වැනි ගජමෑන්ලා බිහිවුණේ මහේලලාගේ, කුමාර්ලාගේ අතිශය ආත්මාර්ථකාරී ක්‍රියාකලාපය නිසයි. ජයසූරියගෙන් පස්සේ අඩුම තරමින් මුරලි හෝ නායකත්වයට පත්කළා නම් ක්‍රිකට් මේ තරම් බලු නොවී තියෙන්න තිබුණා. මුරලි කොතරම් ක්‍රීඩාවට සහ රටට ආදරය කරන්නකුදැයි ඔහුගේ පළමු තරගයේ සිට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටින අද දක්වාම ඉතාමත් පැහැදිලියි.

මුදලට කෑදර වූවායැයි දිල්ශාන්ට සහ ලසිත්ට පලු යන්න බනින අය මහේලගේ සහ කුමාර්ගේ මුදලට සහ පිතිකරු ලැයිස්තුවේ ඉහළින් තමන්ගේ තැනට තිබූ කෑදරකම ගැන කතා කරන්නේ නැත්තේ ඇයි? අර්ජුන, දෝනි වැන්නන් තමන්ගේ දක්ෂතා ඉහළම තලයක තිබියදීත් පිතිකරු ලැයිස්තුවේ කැමැත්තෙන්ම පහළට ගියේ ක්‍රීඩාවට තිබූ ආදරය නිසාම නවක, අපරිණත ක්‍රීඩකයන්ට නිසි ආරක්ෂාව සලසමින් සහ ඔවුනට වැඩි අවස්ථා ලබාදෙමින්, ඔවුන්ගේ ආත්ම විශ්වාසය නැංවීමට බව අපි හැමෝම දන්නවා. ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනාම කැපකළ අර්ධ ශතක සහ ශතක සංඛ්‍යාව කොපමණද? මහේල සහ කුමාර් ක්‍රීඩකයන් වශයෙන් මා ඉතාමත් අගය කළත්, මා පුද්ගලිකව විශ්වාස කරන දේ තමයි, ඔවුන් දෙදෙනාම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවයට වඩා හානිය අතිශයින්ම වැඩි බව. ඔවුන් දෙදෙනා තරම් නරක ආදර්ශයක් තරුණ ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩාවට යොමුවන දරුදැරියන්ට තවත් ඇතැයි කියා මා සිතන්නේ නැහැ.

මහේලට සහ කුමාර්ට දෙවන පෙළ ක්‍රීඩකයන් සහ නායකයන් ගොඩ නැගීමේ කිසිදු අවශ්‍යතාවයක් තිබූ බවක් පෙනුණේ නැහැ. ඔවුන් දෙදෙනාගේ පෞද්ගලික දක්ෂතා ඉහළින්ම තිබුණත්, ඒ වෙනුවෙන් පෝරකයට යැවුණු නවක ක්‍රීඩකයන් කොපමණද? අනික ඔවුන් දෙදෙනාම නායකත්වයෙන් ඉවත්වූයේ ඔවුනගේ නායකත්වය තවදුරටත් කණ්ඩායමට අත්‍යවශ්‍ය වූ අවස්ථාවන්වල. ඔවුන් නිහතමානීකම නිසා හෝ අලුත් නායකයකුට අවස්ථාව දීම සඳහා නායකත්වයෙන් ඉවත්වූ බව පිළිගැනීමට කිසිම සාධකයක් නෑ. එහෙම අදහසක් තිබුණානම් ඔවුන්ගේ සෙවණේ නවකයන් බිහිකළ යුතුව තිබුණා. මට හිතෙන්නේ නම් ඔවුනට තිබුණු අපේක්ෂාව “අපෙන් පස්සේ ක්‍රිකට් ඉවරයි” කියා පෙන්වීම පමණක් බවයි. සමහර විට මෙතනදී මම අසාධාරණ වෙන්නට පුළුවන්. එහෙත් රජයේ සහ පෞද්ගලික ආයතන ගණනාවක විවිධ නායකයන් යටතේ වැඩකර ඇති මට, මෙවැනි නායකයන් කොතෙකුත් හමුවී තිබෙනවා. නියම නායකයෙක් සන්තෝෂ වියයුත්තේ තමන්ගෙන් පසු තමන්ගේ කණ්ඩායම, ආයතනය තමන්ගේ කාලයටත් වඩා දියුණුවෙනවා දැකීමෙනුයි.

විස්සයි-20 ලීග් තරගාවලි සම්බන්ධයෙන් මගේ ගැටලුවක් නැහැ. ක්‍රීඩකයන්ට මුදල් සෙවිය හැක්කේ තමන්ගේ තරුණකම, ජවය සහ ජනප්‍රියත්වය ඇති කෙටි කාලය තුළ පමණයි. ඒ නිසා තුවාල ලබා අකාලයේ ක්‍රීඩාවෙන් සමුගන්නට හෝ තමන්ගෙ කැමැත්තෙන්ම විශ්‍රාම යාමට පෙර ඔවුන් හැකිතරම් මුදල් සොයාගත යුතුයි. නමුත් ක්‍රීඩකයෙකුට එවැනි ලීග් තරගවලට ආරාධනා ලැබෙන්නේ දේශීය වශයෙන් ක්‍රීඩා සමාජවලදී හෝ ජාතික කණ්ඩායම්වල දක්ෂතා දැක්වීමෙන් පසුවයි. ඒ නිසා තමන්ගේ රට වෙනුවෙන් කළ යුතු යුතුකම් සහ වගකීම්වලට මුල්තැනක් දිය යුතුමයි.

අප නිතරම සිහි තබාගත යුත්තේ අප ඉපදුන රට, අපට වඩා වටින බවයි. සැබෑ දේශප්‍රේමය මෙයයි.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.