අජිත් පැරකුම් ජයසිංහ (2019-04-07 දින අනිද්දා පුවත්පතේ පළ විය)

නවක වධය හේතුවෙන් තවත් විශ්වවිද්‍යාල සිසුවකුගේ ජීවිතය නැති වී තිබේ. මෙම මරණයට වගකිවයුතු පුද්ගලයන් කිසි කලෙක සොයාගැනීමට බැරි ය. කිසිවකු ඒ සම්බන්ධයෙන් වරදකාරී හැඟීමක් ඇති කර නොගන්නට පවා ඉඩ තිබේ. හේතුව, වරද පුද්ගලයන්ට වඩා සමස්ත පද්ධතියක් අත වීමයි. එවැනි පද්ධතියක් ඉදිරියේ මෙම සිසුවා මුහුණ දුන් තත්වය කෙනෙකුට අවශ්‍ය නම් පෞරුෂ ගැටලුවක් ලෙස හුවාදක්වන්නට වුව පුළුවන.

විශ්වවිද්‍යාලවලට තේරෙන දරුවන් අතළොස්ස අතර ඉන්නේ අවුරුද්දකට දෙකකට කලින් පාසල්වල උසස් පෙළ පන්තිවල සිටි දරුවන් ය. බොහෝ විට මෙම දරුවන් අයත් වන්නේ හො පාසල්වලට දරුවන් ඇතුළත් කරගැනීමේ හැකියාව තිබෙන මධ්‍යම පන්තික පවුල්වලට ය. මිය ගිය දරුවා උදාහරණයකි. එම පවුල් ධනවත් පවුල් නොවේ. එම දරුවන් අයත් පරම්පරාවල මව්පියන්ට බොහෝ විට සිටින්නේ එක් දරුවෙකු හෝ දෙදෙනෙකි. මව්පියන් මෙම දරුවන් ආරක්ෂා කරන්නේ මල් සේ ය. උසස් පෙළ පන්තිය දක්වා ම පිරිමි දරුවන් සමග පවා පන්ති යන අම්මලා, තාත්තලා සිටිති. විශ්වවිද්‍යාල යන්නට ඉවහල් වූ අධ්‍යාපනික තරගකාරිත්වය නිසා මෙම දරුවන්ට නිසි ළමා වියක් ලැබී ද නැත. අධ්‍යාපනය ද දැඩි ලෙස විභාග කේන්ද්‍රීය, තරගකාරී එකක් වීම හා ටියුෂන් වෙළඳ මාෆියාවේ බලපෑම නිසා මෙම දරුවන් තුළ නිසි පෞරුෂ වර්ධනයක් සිදු වී නැත. වයස අවුරුදු 18 සපිරුණත්, ඔවුන් බොහෝදෙනෙකුට ස්වාධීනව ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික කුසලතා නැත. විශේෂයෙන් ම ගැහැණු ළමයින් ප්‍ර‍ශ්න රැසකට මුහුණ දෙති. විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ එවන් පීඩිතයන් පිරිසකි. විශ්වවිද්‍යාල තුළ පවත්නා පසුබිම විසින් ගිල දමන්නේ එවන් පීඩිතයන් පිරිසකි.

Sinhala Tamil English Translations and Content Writing

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා ටික කලකට ඉහතදී අප සමග කරන ලද සාකච්ඡාවකදී පෙන්වා දෙන ලද කරුණක් වන්නේ විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ ශක්තිමත් අංශ ද ඇති බවයි. විශ්වවිද්‍යාල සිසුන් පවසන පරිදි එමගින් එකම විදියට හිතන්නට, වැඩ කරන්නට පුරුදු කිරීමක් සිදු කෙරෙන බව ඔහු පෙන්වා දෙයි. “ඒත්, එය කරන්නට යන ක්‍ර‍මවේදයේ බරපතල ගැටලුවක් තිබෙනවා.”

1975දී නවක වධය නිසා ස්ථිර ආබාධිතභාවයට පත් වී, අධ්‍යාපනය ද කඩාකප්පල් වී පසුව සිය දිවි නසා ගත් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ රූපා රත්නසීලිගේ සිට මේ දක්වා කාලය තුළ විශ්වවිද්‍යාල තුළ නවක වධය නිසා අවම වශයෙන් ශිෂ්‍ය මරණ 15ක්වත් සිදු වී තිබෙන බව මහාචාර්ය මොහාන් ද සිල්වා විසින් ඉදිරිපත් කරන ලද දත්ත අනුව පෙනේ. ඒ අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමන්ත විතානගේ සිසුවා ඝාතනය කිරීම ද ඇතුළත් වේ.

මෙම උප සංස්කෘතිය විසින් දුප්පත් හා ගැමි විදියට ඇඳීම, සෙරෙප්පු දැමීම, එකපතේ කෑම, එක් උපභාෂාවකින් කතා කිරීම වැනි දේ මෙන් ම, හිංසනය ඉවසා දරාගැනීම, විශ්වවිද්‍යාලයේ බලවත් මතවාදයට යටත් වීම, මත දැරීමේ හා ප්‍ර‍කාශ කිරීමේ නිදහස ස්වයංව වාරණය කරගැනීම වැනි දේ සිසුන්ට පුහුණු කෙරේ. බැරි අය මානසික මෙම පුහුණුව ලබා දෙන කාලය හෙවත් නවක වධ කාලසීමාව මේ වන විට අවුරුද්දක් තරම් දුරට විහිදේ. එසේ මොළ ශෝධනයට ලක් කරන ලද පරපුරේ හොඳින් ම මොළ සේදුණු නායකයන් විසින් සමාන ප්‍ර‍චණ්ඩත්වයකින් එකී සංස්කෘතිය ඉදිරියට ගෙන යනු දැකිය හැකි ය. මේ වන විට පළමු වසරේ සිසුන් විසින් තම වසරේ ම තවත් සිසුන් හා විශේෂයෙන් ම සිසුවියන් නවක වධයට ලක් කරනු ද දැකිය හැකි ය. පිරිමි සිසුන්ගේ ප්‍ර‍තිශතය 10%ක් පමණ වන අධ්‍යාපන විද්‍යා පීඨවල පළමු වසරේ පිරිමි සිසුන් ගැහැණු සිසුන් නවක වධයට භාජනය කිරීම ඉතා දරුණු අන්දමින් සිදු වන බව අප අධ්‍යාපන විද්‍යා පීඨ ඇසුරෙන් කරන ලද අධ්‍යයනවලින් හෙළි විය. නවක වධය ගැඹුරින් ම ස්ත්‍රී පුරුෂ සමාජභවය මත පදනම් වූ හිංසනයක් ද වේ.

මෙම තත්වයට දෙමව්පියන් අතර විරෝධයක් තිබේ ද යන්න පැහැදිලි නැත. අතීතයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ මව්පියන් අතර සැලකිය යුතු පිරිසක් සිය දරුවන් භාජනය වන නවක වධයට මූලධාර්මිකව පක්ෂ බව අප විසින් නිරීක්ෂණය කර තිබේ. සමස්තයක් ලෙස සමාජයේ පැතිරී තිබෙන ප්‍ර‍චණ්ඩත්වය හා ප්‍ර‍චණ්ඩත්වය ඉවසා සිටීමේ මානසිකත්වය හේතුවෙන් පොදු සමාජය තුළ දැඩි නවක වධ විරෝධයක් තිබේ යයි අප සිතන්නේ නැත. නවක වධය සමාජය වසාගෙන පැතිරෙන ප්‍ර‍චණ්ඩත්වයේ තවත් එක් ස්වරූපයක් පමණකැයි ද තර්ක කළ හැකි ය.

එබැවින් නවක වධයට විසඳුම් සෙවීම ජනප්‍රිය සමාජ ඉල්ලීමක් නොවන්නට ද පුළුවන. මේ වන විට ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂම හා විශ්වවිද්‍යාල පාලක මණ්ඩල ඇතුළු පරිපාලනය විසින් පියවර රැසක් රැගෙන තිබේ. හදිසි දුරකථන අංක, සුහුරු දුරකථන ඇප් ආදිය ද ඒ අතර වේ. එසේ ලැබෙන පැමිණිලි හා තොරතුරු ප්‍ර‍මාණය ද විශාල බව විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂම පවසයි. නවක වධය සම්බන්ධයෙන් සුවිශේෂ නීති රීති මෙරට ක්‍රියාත්මක වන්නේ 1998 තරම් ඈත වකවානුවක සිට ය. 1998 අංක 20 දරන නවක වධ පනතේ අවශ්‍ය නීතිමය ප්‍ර‍තිපාදන තිබේ. මහාචාර්ය මොහාන් ද සිල්වා පවසන පරිදි විශ්වවිද්‍යාල සීමාව ඇතුළත නවක වධය ලෙස හැඳින්වෙන දෙය බාහිර සමාජයේදී හැඳින්වෙන්නේ හිංසනය ලෙසයි. මේ දෙක අතර වෙනසක් නැති බව ඔහු පවසයි.

නවක වධය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට චෝදනා එල්ල වුව ද, එය එතරම් සාධාරණ යයි නොපෙනේ. එය විධිමත් සංවිධානයකට වඩා සැබෑ හා කෘත්‍රිමව නිර්මාණය කරගන්නා ප්‍ර‍ශ්න වෙනුවෙන් ශිෂ්‍යයන් බලමුළුගැන්වීම හරහා පවත්වාගෙන යන අවිධිමත් ව්‍යාපාරයකි. කලකදී ජනතා විමුක්ති පෙරමුණත්, දැන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් මෙම ව්‍යාපාරයේ නායකත්වය හැසිරවීමට සමත් විය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හෝ මෙම පක්ෂ හෝ නවක වධය මෙහෙයවන්නේ නැත. එහෙම මෙහෙයවන්නට ඔවුන්ට හැකියාවක් ද නැත. එසේම, ඔවුන්ට එය නවත්වන්නට තරම් ශක්තියක් ද නැත. එයට හේතුව නවක වධය හසුරුවනු ලබන්නේ විශ්වවිද්‍යාලවල මුල්බැසගත් උප සංස්කෘතියක් වීමයි. ඔවුන් නවක වධය හමුවේ නිශ්ශබ්දව සිටින්නට මූලික හේතුව මේ බැරිකම සමාජයෙන් වසන් කරගැනීමයි. වාමාංශික පක්ෂ ඇත්තෙන් ම කරන්නේ දේශපාලන වාසි සඳහා අවශ්‍ය බලමුළුගැන්වීම් පිණිස මෙම තත්වය පාවිච්චි කිරීමයි.

මේවා ප්‍ර‍මාණවත් නැතැයි කෙනෙකුට තර්ක කළ හැකි ය. එහෙත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය යනු රජය විසින් ඉතා තරගකාරී විභාග හරහා, බොහෝ විට වරප්‍ර‍සාදිත පාසල් දිනාගැනීමේ අවස්ථාව ලද හා ටියුෂන් වෙනුවෙන් විශාල වියදමක් කිරීමේ හැකියාව ලද, උසස් පෙළ සමත් සිසුන්ගෙන් 25%ක් පමණ වරප්‍ර‍සාදිත පිරිසකට මහජන මුදලින් පිරිනමන අවස්ථාවක් බව අමතක නොකළ යුතු ය.

විශ්වවිද්‍යාල උප සංස්කෘතිය රැක ගන්නට ඉවහල් කර ගන්නා තවත් එක් තත්වයක් වන්නේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා වී තිබෙන්නේ මෙම උප සංස්කෘතිය නිසා ය යන මිථ්‍යා මතයයි. එය විශේෂයෙන් ම ප්‍ර‍වර්ධනය කරන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලනයෙන් පැවැත්ම තහවුරු කර ගන්නා වාමාංශික පක්ෂ විසින් ය. ඇත්තම කියනවා නම්, අපේ රටේ රජය විසින් තෝරා ගත් සිසුන් පිරිසකට නොමිළේ දෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන්නට කිසිදු යෝජනාවක්, කිසිදු රජයක් විසින් මේ දක්වා කර නැත. ඇත්තට ම සිදු වී තිබෙන්නේ විශ්වවිද්‍යාලවල පහසුකම් වර්ධනය වීමයි. මහාචාර්ය මොහාන් ද සිල්වා පෙන්වා දෙන පරිදි මේ වන විට විශ්වවිද්‍යාල සිසුන්ගෙන් 80%කට නේවාසිකාගාර පහසුකම් සැපයේ. මෙම නේවාසිකාගාරවල මසකට අය කරනු ලබන ගාස්තුව රු. 100 ට අඩු ය. සිසුන්ගෙන් 80%කට ම මහපොළ හෝ ශිෂ්‍යාධාර ලැබේ. මහපොළ නම් මසකට රු. 5000කි. එහෙත්, මහපොළ ශිෂ්‍යත්ව අරමුදල විසින් මෙයින් සපයන්නේ 50%ක් පමණි. ඉතිරි මුදල ලබාදෙන්නේ කෙළින් ම රජය විසින් බව විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂමේ සභාපතිවරයා අප සමග පැවසී ය. ශිෂ්‍යාධාර ලෙස මසකට රු. 4000ක් ලැබේ. මේවා ණය නොවේ. ආපසු ගෙවිය යුතු නැත.

නවක වධය දුරු කිරීම පහසු කාර්යයක් නොවේ. එය සමාජ ප්‍ර‍චණ්ඩත්වයේ ම තවත් පැතිකඩකි. එහෙත්, නවක වධයට හා පොදුවේ සමාජයේ තිබෙන හිංසනයට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම අසීරු නැත. ඒ අතරතුර ප්‍ර‍චණ්ඩත්වයට එරෙහි සමාජ දේශපාලන මතයක් වෙනුවෙන් වන සමාජ අරගලය දිගට ම කරගෙන යා යුතු ය.

නවක වධය දිරිගන්වන විශ්වවිද්‍යාල උප සංස්කෘතිය ආරක්ෂා කරන බලවේග සියල්ලට මෙම කරුණ ද පෙන්වා දිය යුතු ය. නවක වධය හා ඒ ආශ්‍රිත ක්‍රියා ද, රාජ්‍ය විශ්වවිද්‍යාලවල පොදු අකාර්යක්ෂමතාව ද හේතුවෙන් මේ වන විට මේ රටේ හැකියාව තිබෙන සිසුන් සැලකිය යුතු පිරිසක් රජයේ විශ්වවිද්‍යාල පමණක් නොව, උසස් පෙළ විභාගය පවා ප්‍ර‍තික්ෂේප කර පෞද්ගලික විශ්වවිද්‍යාලවල පදනම් පාඨමාලා ඔස්සේ උසස් අධ්‍යාපනය ඉදිරියට ගෙන යති. එමගින් ඔවුන්ට වයස 20 ගණන්වල මුල් භාගයේදී ම උපාධි හා පශ්චාත් උපාධි සම්පූර්ණ කරගෙන රැකියා වෙළඳපොළට අඩු වයසින් වැඩි සුදුසුකම් සහිතව පිවිසීමේ හැකියාව ලැබේ. නවක වධය අධ්‍යාපන පෞද්ගලීකරණය දිරිගන්වන මෙම පසුබිම පිළිබඳ ඔබේ අවධානය යොමු විය යුතු ය.

1 thought on “අධ්‍යාපනය පෞද්ගලීකරණය දිරිගන්වන නවක වධය

Leave a Reply to Premalal B. Ranaweerage Cancel reply

Your email address will not be published. Required fields are marked with *.