අජිත් පැරකුම් ජයසිංහගේ නවකතාවක් – මිළ දී ගන්න මෙතැනින් >>

කේපොයින්ට් නවකතාවෙන් පිටුවක්:

එකල කඳවුරේ කපා දමා තිබූ ගසක මහ කොටයක් ද මීහරක් පීටී දීම සඳහා යොදා ගැනිණි. දහදෙනෙකු පමණ ලවා එය ඔසවා දෙදෙනෙකුගේ උර මත තබා කඳවුර වටා දුවන්නට බල කරන ලදී. බොහෝ දෙනෙකු පය ඔසවා ගැනීමට බැරිව කොටයත් සමගම ඇද වැටී කොටයට යට වී තුවාල වූ හ. වැටෙන අයට පහර දී නැවතත් කොටය උර මත තබන ලදී. එය බැරි අයට අනෙකුත් ව්‍යායාම වර්ග නොකඩවා කරවන ලදී. එය ද බැරිවුන්ට පොලුවලින් පහර දෙන ලදී.

මේ සියල්ල අවසානයේදී ශාලාව තුළට පන්නා දමන ලද එක් සිරකරුවකු සූ සූ හ`ඩ නගමින් පැමිණ කොරිඩෝවේ ඇද වැටුණේ ය.
‘‘ඒයි නැගිටපන්. ඔතන නිදා ගන්න බැහැ ’’ උදේනි ගුගුළේ ය.

සිරකරු වහා කෙළින් වී හිඳ ගත්තේ ය. ඔහු වේගයෙන් වෙව්ලූවේ ය. එක තැන සිටිය නොහැකිව අත පය ගැසුවේ ය. ඔහුගේ ගතින් දහදිය ගඟක් ගලා ගියේ ය.

‘‘මොකද තෝ දඟළන්නෙ. තව ගුටි කන්න ඕනැ වෙලා ද?’’

‘‘සමාවෙන්න සර්, මං දඟලන්නෙ නැහැ. මං දඟලන්නෙ නැහැ සර්. සමාවෙන්න සර්.’’ සිරකරුවා දෙඩෙව්වේ ය.

සිරකරු බිත්තියට හේත්තු විය.

‘‘බිත්තියට හේත්තු වෙන්නෙ නැහැ එකෙක්වත්. කොන්ද කෙළින් තියාගෙන හිටපියව්!’’

සිරකරු වේගයෙන් හුස්ම ඉහළ ඇද්දේ ය. තද සීතලකින් සේ වෙව්ලුවේ ය.

‘‘අනේ සර් මං බිත්තියට විතරක් පොඞ්ඩක් විතරක් හේත්තු වෙන්න ද?’’ ඔහු ඇසී ය.

ඔහුගේ පාලනයකින් තොර හඬ උවමනාවට වඩා උස් හඩක් විය. උගුරේ හිර කරගෙන සිටි වේදනාබර ළතෝනියක් වචනත් සමග පිටවන්නට විය.

‘‘හේත්තු වෙන්නෙ නැහැ තෝ. ඔහොම හිටපිය.’’

‘‘අනේ සර්, මට අමාරුයි.’’ ඔහු කීවේ පාලනයකින් තොර මහ හඬකිනි.

‘‘ඇයි තෝ බබා උකුං ද?’’ උදේනි සිරකරු දෙසට අඩියක් දෙකක් තැබුවේ ය.

‘‘නෑ සර්. අනේ ගහන්න එපා. මං මෙහෙම ඉන්නම්. මං බිත්තියට හේත්තු වෙන්නෙ නැහැ සර්. ගහන්න එපා.’’

එසේ කියා නිමේෂයක් ගත වන විට ඔහු ඇද වැටුණේ ය. මරණ මංචකයේදී පවා බිත්තියෙන් හෝ වාරු ගැනීමට බියෙන්, මුල් දිරා ගිය ගසක් හිටි හැටියේ බිම ඇද වැටෙන්නා සේ ඔහු මැරී ම වැටුණේ ය. මරණය ඇතැම් විට එතරම් ක්ෂණික විය. තවත් විටෙක වේදනාකාරී ලෙස මන්දගාමී විය.

නව කතා දෙකක් සහ ඉතිහාස දෙකක්! – කේපොයින්ට් නවකතාව ගැන කරුණාරත්න පරණවිතාන

කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් ගත් විශේෂ පොත් දෙකක් ගැනය මෙවර සටහන. දෙකම නවකතා දෙකකි. සත්‍ය සිදුවීම් ඇසුරින් ලියන ලද අප රටේ ඉතිහාසයේ යුගයකට අදාල වන බැවින් මේ දෙකම ඓතිහාසික නවකතා දෙකකි. පොත් වලින් මතු කරන ඉතිහාසය වනාහී ඈත දුරාතීතයකට අයත් වූවක් නොව මේ ඊයේ පෙරේදා අප විසින් පසු කරන ලද අපගේ වර්තමානය සමග ගෑවී නොගෑවී පවතින වර්තමානයටම සම්බන්ධ ළඟ ඉතිහාසයකි. පළමුවැන්න අජිත් පැරකුම් ජයසිංහ ලියූ “කේ පොයින්ට්ය.” එය ‘එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ නවකතාව’ වශයෙන් නමි කර ඇත. දෙවැන්න උපුල් ශාන්ත සන්නස්ගල ලියූ ‘කොළඹ කතාව’යි. එය ‘භික්ෂු පරිච්ඡේදය’ වශයෙන් ද නම් කර ඇත්තේ කොළඹ කතාවේ තවත් පරිච්ඡේද ඉදිරියට එන බවට කෙරෙන කතුවරයාගේ ඉඟියක්ද සමගිනි.

ඉතිහාසයේ අනාගතය නමින් (the future of history) රසවත් පොතක් ලියූ ජෝන් ලූකාස් නම් ඉතිහාසඥයා පවසන්නේ සෑම නවකතාවක්ම ඓතිහාසික නවකතාවක් බවයි. නව කතා ලියන්නන් පමණක් නොව කියවන්නන්ටද ඉතිහාසඥයන් වීමේ හැකියාවක් පවතින බව ඇලෙක්සැන්ඩර් ඩූමාගේ නවකතා ගැන විග්‍රහයක් කරන ප්‍රංශ ඉතිහාසඥ මාර්ක් බ්ලොච් (Marc Bloch) සඳහන් කරයි. එසේ වුවද අනෙක් නවකතාවලින් වෙන් වූ ඓතිහාසික නවකතා වශයෙන් වෙනම නම් කළ හැකි සාහිත්‍ය ශානරයක්ද ඇත. එවැනි නවකතාවක් වන මහ ගත් කරු ටොල්ස්ටෝයිගේ ‘යුද්ධය හා සාමය’ මහා නව කතාව ගෙතී ඇත්තේ ජීවිතයේ අර්ථය සොයා යන පියරෙ කුමරු, සර්ව දෝෂදර්ශී නරුමවාදියකුගෙන් පටන් ගෙන උතුම් මිනිසත් ගුණ සහිත මානවවාදියකු බවට පත්වන ඇන්ඩ්‍රි කුමරු සහ තම ආවේගකාරීත්වය නිසා තම ජීවිතය තර්ජනයකට ලක්කරගන්නා සුන්දර නතාෂා කුමරියගේ ජීවන පුවත පාඨකයා වෙත ගෙන හැර පෑමටය. එය කියවා අවසන් වන පාඨකයා නැපෝලියානු යුද්ධ සමයේ ඉතිහාසය ගැන දැනුමක් ඇත්තෙකු පමණක් නොව ජීවිතාවබෝධය පළල් කර ගත් විසල් මිනිසකු බවටද පත්වෙයි.

මේ පසුබිමෙහි හිඳිමින් අපි ඉහත දක්වන ලද සිංහල නව කතා දෙක දෙස බලමු. දක්ෂ ලේඛකයෙකුට බියකරු ප්‍රබන්ධ ගෙතිය හැකිය. නමුත් සත්‍ය ඉදිරිපත් කිරීම ඊටත් වඩා බියකරුය. මාක්  ට්වෙයින් නම් ප්‍රකට ඉංග්‍රිසි ලේඛකයා පැවසුවේ සත්‍යය ප්‍රබන්ධයටත් වඩා බියකරු බවය. අජිත් පැරකුම් කේ පොයින්ට් නවකතාවෙන් ඉදිරිපත් කර ඇත්තේ අපගේ ඉතිහාසය පිළිබඳ බියකරු සත්‍යයකි. 1989 භීෂණ සමයේ කැරලි කරුවකු ලෙස සටන් කරමින් වධකාගාරයක මරණීය වධ බන්ධනවලට ලක් වූවකුගේ කතාව අපට කියවන්නට ලැබේ. මේ කතාව කියන රචක නම් කතා නායකයා කතුවරයා නොවන බවත් නොවන්නේද නොවන බවත් අජිත් පැරකුම් කතාව ආරම්භයේදීම පවසයි. අප පසු කරමින් සිටින අතිශය ප්‍රචණ්ඩ ඉතිහාසය හා සමාජය පිළිබඳ අපේම හදට මනසට යවුල් පහරවල් අනිමින් අවධි කරන අජිත් පැරකුම්ට මේ ප්‍රබන්ධය අපට කියන්නට හැකි වී ඇත්තේ එම ස්ව මාංශභක්ෂක යුගයේදී භීෂණ කුණාටුවකට මැදිවූ ඔහුගේ ජීවිතය අහඹුවක් ලෙස හෝ ශේෂ වූ බැවිනි.

කේ පොයින්ට් නවකතාව යනු ශ්‍රී ලාංකික  දේශපාලන ආර්ථික හා සංස්කෘතික සමාජ ප්‍රචණ්ඩත්වයේ මෑත කාලීන ඉතිහාස කතාවයි. දේශපාලන ප්‍රචණ්ඩත්වය යනු බලය උදෙසා කෙරෙන මිනී මරාගැනීම්, දේපල විනාශ මංකොල්ල ආදියෙන් සමන්විත සෘජු ප්‍රචණ්ඩත්වයයි. ආර්ථික ප්‍රචණ්ඩත්වය යනු එම සෘජු ප්‍රචණ්ඩත්වය වගා දිගා වීමට ජලය පොහොර සපයා පස සකසා දෙන අසමානතාව, දුප්පත්කම  කොල්ලකෑම පසුගාමීත්වය ආදී අංග ලක්ෂණවලින් සමන්විත ප්‍රචණ්ඩ සමාජ ව්‍යුහයන්ය. සංස්කෘතික ප්‍රචණ්ඩත්වය යනු ඉහත කී සෘජු දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය යුක්ති සහගත කරන, සාධාරණීකරණය කරන  ආගම් දේශපාලන මතවාද ආදියෙන් සමන්විත ගැඹුරු ප්‍රචණ්ඩ මූලයන් සහිත සමාජ මානසික සැකැස්මයි. කේ පොයින්ට් නවකතාව කියවා ගෙන යන කල මේ ත්‍රිවිධාකාර  ප්‍රචණ්ඩත්වයේම රුදුරු මුහුණුවර අප ඉදිරියේ දිග හැරෙයි.

නිදහසින් පසු හැත්තෑ වසරක ඉතිහාසය සමාජ කැරලි දෙකක තුනක රුධිරයෙන් ලිය වී ඇත. මේ කැරලි තුනම සිවිල් යුද්ධය. සිවිල් යුද්ධයකදී සිදුවන්නේ  සටන් කරන් කැරලිකරුවන් රාජ්‍ය හමුදා සාමාජිකයන් පමණක් නොව සමස්ත සමාජයම සාපාරාධීකරණයට ලක්වීමය. සමස්ත සමාජයම සාමූහික මහා අපරාධයක වින්දිතයන් බවට පත් වීමය. සමාජයේ කොටස්කරුවන් වශයෙන් අප පෙළෙන එකී වින්දිතභාවය පිළිබද අප කෙරෙහිම ඔවුනොවුන් කෙරෙහිම සහනුකම්පාවක් ජනිත කිරීමට අජිත්ගේ ඉතිහාස කතාව සමත් වෙයි. එය ඉතිහාස කතාවක් පමණක් නොවී කලාත්මක නවකතාවක්ද වන්නේ එම හේතුව නිසාමය.

උපුල් ශාන්ත සන්නස්ගලගේ භික්ෂූ පරිච්ඡේදය නවකතාව එහි ශෛලියට අනුව කතා අතුරු කතා ගොන්නක් සහිත වුවද එක් ප්‍රධාන කතා වර්ගයකට මුල් තැන දෙන නවකතාවකි. මේ කතා අපට කියන්නේ කතුවරයා තම ඇත්ත නමින්ම පෙනී සිටිමින්ය. අජිත්ගේ පොතේ මෙන් රචකයා ඔහුද  නොවේ නොවන්නේද නොවේ තත්වයක් එහි නැත. කතා කියන්නා  උපුල්ම වන අතර එහි ප්‍රධාන කතා අයත් වන්නේ අප රටේ මෑත කාලීන ශාසන ඉතිහාසයටය.
උපුල් ඉදිරිපත් කරන සමහර භික්ෂු කතා උපුල්ටත් දිනපතා ප්‍රවෘත්ති බලන කියවන පොදු පාඨක අපටත් මේ ඊයේ පෙරේදා අසන්නට දකින්නට ලැබුණ කතාය. බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඤාණසාරහිමිගේ කතාව, ආවේග බර වූ අම්පිටියේ සුමන හාමුදුරුවන්ගේ කතාව, අලි ප්‍රශ්නයට මැදි වූ  උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ කතාව, නවකවදය දීමේ චෝදනාවකට ලක්ව බන්ධනාගාර ගතවූ සරසවි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ දෙනමගේ කතාව ආදී වශයෙන් කවුරුත් දන්නා කතාය. සමහර කතා උපුල් සමග ඇසුරු කළ ඔහුගේ ජීවිතයට නන් අයුරින් සම්බන්ධ වූ අප වැඩිය නොදන්නා මෛත්‍රී මූර්ති හිමි වැනි භික්ෂූන් වහන්සේ පිළිබඳ කතාය.

අප රටේ සසුනෙහි භික්ෂූන් වහන්සේ ලක්ෂ ගණනක් නැත. සිටින්නේ තිස්දහසක් පමණ වූ සුළුතර පිරිසකි. දුරාතීතයේද තත්වය මෙසේම වන්නට ඇත. එහෙත් මේ සුලුතර පිරිස අප රටේ සංස්කෘතියේ මූලික කාරක සාධකයකි. භික්ෂූන් වහන්සේගෙන් තොර සිංහල සංස්කෘතියක් ගැන සිතීමට අපහසුය. සමාජයේ උන්වහන්සේ උසුලන පූජනීය ස්වභාවයට නිසා භික්ෂුව විවේචනය කිරීම සාමාන්‍යයෙන් කෙරෙන්නේ නැත. එයින් කියවෙන්නේ භික්ෂූන් සංඝයා වැරදි නොකරන පිරිසක් බව නොවේ. බුදුන් වහන්සේට විනය ශික්ෂා පද පැනවීමට හේතු වූ කතා වස්තු වනාහී ප්‍රබන්ධ නොව ඓතිහාසික පුවත්ය. ඒවා විමසන විට පෙනී යන්නේ අද මෙන්ම එදාද විවේචනයට ලක්විය හැකි චර්යාවක නිරත වූ භික්ෂූන් සිටි බවය. වැරදි ඇති වූ විට ඒවා යළි ඇති නොවන ලෙස සසුන්පත ප්‍රතිසංස්කරණය කිරීම බෞද්ධ සාසන මාර්ගයේ එක් වැදගත් ප්‍රතිපදාවකි. යහපත් ප්‍රතිසංස්කරණය සඳහා විචාරාත්මක අදහසක් අවශ්‍ය වන්නේය. උපුල්ගේ භික්ෂු පරිච්ඡේදය කියවාගෙන යන කල එහි විවේචනයට ලක්වන භික්ෂූන් වහන්සේ අැතුලු සමස්ත භික්ෂූන් සංඝයා කෙරෙහිම අප සිත් තුළ ජනිත වන්නේ මහා සහනුකම්පාවකි. භික්ෂුන්වහන්සේද  මනුෂ්‍යයෙකි යන අදහස අප සිත් තුළ ජනිත කිරීමට කතුවරයා සමත්ව ඇත. ඒ නයින් මේ කෘතියද ඉතිහාස කෘතියක් ඉක්මවා ගිය  සාහිත්‍ය කෘතියකි. උපුල්ගේ කෘතිය පිළිබඳ අපගේ මෙම අදහසට විරුද්ධ වන අය සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. එසේ වුවද සත්‍යය ප්‍රබන්ධයට වඩා බියකරු බව ඒ අයද කල්පනාවට ගත යුතුය.


කේ පොයින්ට් කියවා අවසන් කළෙමි . එය මා සසල කළේය – කේපොයින්ට් ගැන උපාලි රත්නායක

මෑත වකවානුවක කිසිදු පොතක් විසින් නොකළ ආකාරයට මා සසල කළේය. එසේ වූයේ ඇයි? ඒ අජිත් පැරකුම් ජයසිංහ විසින් ඒ පොත ආකෘති ගත කර තිබූ ශෛලිය නිසාද ? නො එසේ නම් එහි අන්තර්ගත කර තිබූ ,1987-90 කාලයේදී ලංකාව වසා පැතිර ගිය ඇදහිය නොහැකි තරම් රුදුරු බිහිසුණු සිද්ධි දාමය නිසාද? මම සිතමි.

තමන් ලියන්නේ සැබෑ සිදුවීම් පාදක කර ගත් නව කතාවක් යැයි අජිත් පැරකුම් මේ පොත ආරම්භයේදීම ලියයි. ඔහු කතාව කියන්නේ ” රචක ” නමින් හඳුන්වනු ලබන චරිතයක් උපයෝගී කර ගනිමිනි. මේ රචක කවුදැයි පුර්වාපර සන්ධි ගලපා ගත හැකි පාඨකයෙකුට රහසක් විය නොහැකිය.එහෙත් විසඳා ගත යුතුම වූ වෙනත් රහසක් අජිත් අපට ඉතිරි කරයි. එය අදද අපගේ සමාජය අරා වැජඹෙන එක් සුවිශේෂ ලක්ෂණයක් පිලිබඳ රහසකි.එනම් මනුෂ්‍යත්වය මෙතරම් අධම, ජඩ, රෞද්‍ර ,තුච්ඡ නර-රකුස් මට්ටමකට ඇද හෙළන සැහැසි පෙළඹීම එන්නේ කවර ප්‍රභවයකින්ද යන්නය. එය පංති පීඩනය හෝ පංති වෛරයේ පලයක් යැයි කවුරුන් හෝ කියන්නේ නම් එය එපමණකට ලඝු කළ හැකිදැයි මම නොදනිමි. මා සසල කළේ වධකයන් සහ වින්දිතයන් යන දෙපිරිස තුළම පැහැදිළිව දක්නට තිබු ඒ නර-රකුස් බව විසිනි. අවස්තාව අංශක එකසිය අසූවකින් කැරකි ගියේ නම් වින්දිතයින් වධකයින් බවට පත් වී එලියකන්දේ සිදු වූ දේම වෙනත් තැනක වෙනත් දවසක සිදුවීමට ඕනෑ තරම් ඉඩ තිබුණි.

” රචක” එලියකන්දෙන් දිවි බේරා ගෙන අදත් ජීවත් වෙයි.ඔහු සිතෙන් පමණක් පෙම් බැඳී ” ආශා “ද ඔහුට හමු වන්නට ඇතැයි මම සිතමි. ඔහු මෙන් තවත් සිය ගණනක් ,ඇතැම් විට දහස් ගණනක් දිවි ගලවා ගන්නට ඇත.එහෙත් ඊට වඩා වැඩි අති විශාල පිරිසක් මිනිසුන්ට දැරීය නොහැකි තරම් වධ විඳ මේ ජීවිතය හැර ගිය බවද අපි දනිමු.මෙසේ දිවි ගලවා ගත්තවුන් සිය ඉතිරි ජීවිත කාලය පුරාම සිතෙන් දරා ගෙන සිටින අප්‍රමාන බර ගැන සිතෙන විට මම සසල වෙමි. අනෙක් අතින් එදා වධකයන්ද අදත් මේ සමාජය තුළ සිටිනවා නොවේද ? ඔවුන්ද පිටතට නොපෙන්වුවද ඉමහත් බරක් සිතේ සිර කර ගෙන සිටීමට ඉඩ ඇත.ඔබද මාද ගමන් යන මාවතේ දි ශොපින් කවරයක එලවලු සහ සිල්ලර බඩු ටිකක් දමා ගෙන ගිලුනු දෙනෙතින් සහ වෙහෙසුනු මුහුනින් යුතුව ඔබ පසු කර අර යන්නේ වින්දිතයෙක්ද? වදකයෙක්ද? මම නොදනිමි.ඔබ දන්නෙහිද?

මා කේ පොයින්ට් පොත සැසඳිය යුත්තේ කුමක් සමගද ? මෙහිදී මම විදේශීය ලේඛකයකුගේ කෘතියක් මගේ සහායට ගනිමි. Sven Hazzle ඩෙන්මාර්ක් ජාතිකයෙකි.ඔහු දෙවන ලෝක යුද්ධයට පෙර වකවානුවේ රැකියාවක් සොයා ජර්මනියට පැමිණ පසුව ජර්මානු හමුදාවට බැඳී නාසින්ට පක්ෂව රුසියානු පෙරමුණේ දඬුවම් බලකායක සටන් කළේය. යුද්ධයේ ඇති ඝෝර තිරශ්චීන සහ අමානුෂික විනාශකාරී ස්වභාවය නිසා කැළඹුණු ඔහු පසු කලෙක සිය යුද අත්දැකීම් පදනම් කර ගත් පොත් ගණනාවක් ලිව්වේය.කවර ආලවට්ටම්වලින් වසා දැමීමට උත්සාහ ගත්තද යුද්ධය යනු මොන තරම් ම්ලේච්චද යන වග ඔහු ඒ පොත් ඔස්සේ ඉතා හොඳින් විදහා පෑවේය .මට කේ පොයින්ට් කියවන විට මතකයට එන්නේ ස්වෙන් හෂ්ල් ය. ඔහුගේ legion of dammned , Wheel of Terror ,Liquidation of Paris වැනි පොත්ය.” රකුසන්ගේ අඩවිය” සහ” යුද සක් හඬ” ඔහුගේ කෘති දෙකක සිංහල පරිවර්තන වේ.ස්වෙන් හෂ්ල් මහා පරිමාණ යුද්ධයක පැවැති රුදුරු බව මවා පෙන්වූ ශුර කමට තරමක් සමීපකමකින් යුතුව අජිත් පැරකුම් ඊට වඩා කුඩා අවි ගැටුමක එක් පැතිකඩක් වියා දක්වන බුහුටි බව සහ නිර්භීත බව දකින මට ඔහු ලංකාවේ ස්වෙන් හෂ්ල් කෙනෙකු නොවන්නේදැයි ඇතැම් විට සිතෙයි.

කේපොයින්ට් දොරට වැඩුමෙහි සංවාදය – විදර්ශන කන්නන්ගර, ගීතිකා ධර්මසිංහ, උපුල් කුමාරප්පෙරුම, වික්ටර් අයිවන්

හදවතින් නැගෙන්නේ ලබ් ඩබ් විතර ද? – කේපොයින්ට් ගැන නිර්මල කොතලාවල

කේපොයින්ට් නවකතාව පිළිබඳ හිටපු ඇමති නිර්මල කොතලාවල ලියන කොලම
%d bloggers like this: